පරක්කු වුණු බස් එක අල්ලන්න ඉගිලී ගිහින්
මත්තල හන්දියේදී ගමක් හඬවා අවසන් ගමන් ගිය
අයියා මලෝ දෙන්නා - Photos
‘තේ එක ඇවිත් බොන්නම් කියලා
බැනියම පිටින් හෙල්මට්වත්
දාන්නේ නැතිවලු ගියේ‘‘
පසුගියදා මත්තල ප්‍රදේශයේදී සිදූවූ අනපේක්ෂිත රිය අනතුරකින් තරුණ ජීවිත 2ක් ලොවින් සමුගත්තේ දහසක් දෙනාගේ සෝසුසුම් මැදයි. තම සහෝදරයා බස්රථයට දමන්නට, අම්මා සදා දුන් තේ වීදුරුවද නොබී පිටත්වුණේ ඉක්මණින්ම ගොස් නැවත පැමිණ තේ එක බීමේ අධිෂ්ඨානයෙනි. නමුත් සිදුවූයේ නොසිතූ විපතකි. ප්‍රදේශවාසීන් මත්තල හන්දියට රැස්වූයේ කිසිදිනෙක මෙවන් දෙයක් නැවතත් දෑසින් දකින්නට නොලැබේවායි කියන පැතුමෙනි.
‘‘අනේ අයියේ මං පන්ති යන බස් එක ගියා. මාව බස් එකට ගිහින් දමන්නකෝ කියලා මගේ පොඩි පුතා නිදාගෙන හිටිය ලොකු පුතාට කිව්වා. අනේ නිදාගෙන හිටිය මගේ ලොකු පුතත් හදලා තිබුණ තේ එකවත් බිව්වේ නැතිව ඇදගෙන හිටිය බැනියම පිටින්ම මල්ලි බස් එකට ගිහින් දන්න ගියා. ‘‘
අම්මේ මං මල්ලි ඉක්මනට බස් එකට දමලා ඇවිත් තේ එක බොන්නම් කියලා ගිය දරුවා තාම ගෙදර ආවේ නෑ යැයි අනතුරින් මියගිය දරුවන් දෙදෙනාගේ මව වන 46 හැවිරිදි කපුගමගේ චිත්‍ර ලතා මහත්මිය හඩා වැළපුනේ ගෙදරට ආ ගිය හැමෝගේම නෙතට කදුලක්ද එක්කරමිණි.
දිනය 2015-11-11 ය. වෙලාව පාන්දර 6.15ට පමණය. වෙනදා මෙන් මත්තල හා අන්දරවැව ගම්මානයට හිරු උදා වූයේ තවත් සුන්දර දවසක් ලෙසින් නොව. පාන්දර තවත් එක් මවකට හා පියෙකුට තම දරුවන් දෙදෙනෙකුම එකවර නැතිවිමේ ශෝකය හා විලාපය සමගිනි. තම දරුවන් දෙදෙනා එකම තැන මැරී වැටුණු පසු කාට නම් ඉවසා ගත හැකිය.
දහසක් බුදුන් බුදුවෙන මේ හිමිදිරි පාන්දර සිදුවු මේ අපරාධය පිළිබදව අවට ගම්මානවලටද පැතිරයාමටද ගතවුයේ නිමේෂයක් තරම් කාලයක් පමණි. සිද්ධිය කණ වැකුණු සියළු දෙනා අනේ හපොයි කියමින් මත්තල හන්දියට පැමිණියේ අමතක වීමෙන් හෝ ඇද සිටි රෑ ඇඳුම පිටින්මය. ඒ තරමටම මියගිය තරුණයන් දෙදෙනා ගම්මුන් අතර ආදරය දිනා සිටි දෙදෙනෙකි.
හම්බන්තොට පැත්තේ සිට තණමල්විල දෙසට යාමට ආ මාතර ප්‍රදේශයේ ටිපර් රථයක් මත්තල හංදියෙන් හැරවීමේදි අන්දර වැව පැත්තේ සිට හම්බන්තොට දෙසට ප්‍රධාන මාර්ගයේ පැමිණි මෝටර් සයිකලය ටිපර් රථයේ බදේ වැදී තිබේ. යතුරු පැදිය ප්‍රධාන පාරේ තරමක වේගයෙන් ආවා. ඒත් එක්කම හම්බන්තොට පැත්තේ සිට පැමිණි ටිපර් රථයක් ප්‍රධාන පාරේ පැමිණි බයික් එක දෙස කිසිදු සැළකිල්ලක් නොදක්වා එකවර මත්තල හන්දියෙන් ටිපර් රථය හැරෙව්වා.
අධික වේගයෙන් පැමිණි බයික් එකට වේගය පාලනය කරගන්න බැරුව ටිපර් රථයේ බදේ වැදුනා යැයි සිද්ධිය වු අවස්ථාවේ අසල සිටි අයෙකු අපත් සමග පැවසුවේ. අනතුරින් මියගිය 22 හැවිරිදි මුණසිංහආරච්චිගේ සුපුන් සමීර මත්තල ගුවන්තොටුපළේ පුද්ගලික ආයතනයක සේවය කළ අයෙකි. ඔහු සිද්ධිය වු ස්ථානයේදිම මියගියේය. අනතුරින් මියගිය මුණසිංහආරච්චිගේ ක්‍රිෂාන් නයනජිත් 17 හැවිරිදි පාසැල් සිසුවෙකි.
ඔහු හම්බන්තොට සුචි ජාතික පාසලේ උසස්පෙළ පන්තියේ අධ්‍යාපනය ලැබූ සිසුවෙකුය. අනතුරින් බරපතළ තුවාළ ලැබු පාසැල් සිසුවා හම්බන්තොට මහරෝහලට ඇතුලත් කිරිමෙන් පසු මියගියේය. පශ්චාත් මරණ පරීක්ෂණයේදීද අනාවරණය වි තිබුණේ සිදුවු මාරක රිය අනතුරින් දෙදෙනාගේම හිසට සිදුවු බරපතළ තුවාල නිසා සිදු වු මරණයක් බවයි.මරණ පරීක්ෂණය හදිසි මරණ පරීක්ෂක ආරියසේන වෙත්තසිංහ මහතා පැවැත්වීය.
මියගිය දරුවන් දෙදෙනාගේ මව වැඩිදුරටත් පැවසුවේ මෙවන් අදහසකි. මගේ පොඩි පුතා උදේ නැගිටලා අම්බලන්තොට තියෙන පුද්ගලික පන්තියකට යන්න සුදානම් වුනා. කොහොම හරි බස් එක අල්ලගන්න බැරි වුණා. අනේ අයියේ මගේ බස් එක ගියා. මාව බස් එකට ගිහින් දමන්න. අද කොහොම හරි පන්තියට යන්න ඔනේ කිව්වා. අනේ නිදාගෙන හිටිය මගේ ලොකු පුතත් ඇදගෙන හිටිය ඇදුම පිටින්ම හෙල්මට්වත් දමාගන්නේ නැතිව මල්ලිට බස් එක අල්ලලා දෙන්න ගියා.
මන් හිනෙන්වත් හිතුවේ නෑ මගේ රත්තරන් දරුවෝ දෙන්නා මේ යන්නේ සදහටම යන ගමනක් කියලා. සාමාන්‍ය පෙළ විභාගය පාස් වෙලා ගෙදර ඇවිත් මටයි තාත්තටයි වැදලා කිව්වා අම්මේ මන් විභාගෙ පාස් කියලා. එදා තරම් සතුටු දවසක් අපිට තිබුණේ නෑ. අම්මේ මන් කොහොම හරි කැම්පස් යනවා කිව්ව පුතා අද අපි අඩවලා කොහෙද මේ ගියේ. දරුවෝ පස් දෙනාගෙන් දෙන්නෙක්ම මට අද නැති වුනා. මේ දුක අම්ම කෙනෙක් කොහොම උහුලා ගන්නද යැයි ඇය හඩා වැළපෙමින් කියා සිටියාය. මියගිය දරුවන් දෙදෙනාගේ පිය වන 55 හැවිරිදි මුණසිංහආරච්චිගේ ජයන්ත මහතා .
මට උදේ 6.25 ට විතර කෝල් එකක් ආවා පුතාලා දෙන්නා ගිය බයික් එක හැප්පිලා කියලා. මන් ගෙදර හිටිය බාල පුතාට කිව්වා පුතේ අයියලා ගිය බයික් එක හැප්පිලා ඉක්මනට බලන්න යමු කියලා. අනේ මන් ගිහින් බලනකොට පාර මැද සුදු රෙද්දකින් වහලා කෙනෙක් හිටියා. මන් රෙද්ද අයින් කරලා බලන කොට මගේ ලොකු පුතාගේ ඔළුව පොඩි වෙලා හිටියා. මන් හයියෙන් කෝ මගේ අනිත් පුතා කියලා කෑ ගැහුවා වේදනාව වැඩි කමට.එතන හිටිය කෙනෙක් මට කිව්වා අයියා බයවෙන්න එපා පොඩි පුතාට අමාරු නෑ හම්බන්තොට ඉස්පිරිතාලෙට ගෙනිච්චා කිව්වා. ඒත් වැඩි වෙලාවක් යන්න කලින් මට ආරංචි වුණා ඉස්පිරිතාලෙදි මගේ පොඩි පුතත් නැති වුණා කියලා.
මගේ පෙට්ටියට කරතියන්න හිටිය මගේ රත්තරන් දරුවෝ දෙන්නගේ පෙට්ටි දෙක මට කරතියන්න වෙයි කියලා මන් කවදාවත් හිතුවේ නෑ. තාත්ත කෙනෙකුට මේ දුක උහුලන්න පුළුවන්ද. මට තවත් ජීවත් වෙලා මොකටද. අනේ මගේ දරුවෝ දෙන්නා නිතරම කිව්වේ අම්මටයි තාත්තටයි ඉන්න ගේ හදලා දෙනවා කියලයි. මගේ නැතිවුණ ලොකු පුතා රස්සාවට ගිහින් ඇවිත් මාසේ පඩිය අම්මගේ අතට ගෙනත් දෙනවා. පුතා නිතරම කිව්වේ තාත්තා වැඩ කරන්න එපා කියලයි. පහුගිය දවසේ පුතා ගෙදරට පුටු ගේන්න කියලා සීට්ටුවකුත් දැමිමා. පොඩි පුතා නිතරම කිව්වා තාත්තේ මන් කොහොම හරි කැම්පස් යනවා කියලා. මගේ එක ඇහැකුත් පේන්නේ නෑ. මන් ජීවත් වුනේ කුළියක් මලියක් කරගෙන. මගෙත් එකම බලාපොරොත්තුව වුනේ ඉගෙන ගන්න ආසාවෙන් උසස්පෙළ කළ පුතාට උගන්වන්න. අපි දවසට එක වේලක් කාලා මේ දරුවෝ හැදුවේ අකාලයේ මැරෙනවා දකින්න නෙමෙයි.
මියගිය සොහොයුරන් දෙදෙනාගේ වැඩිමහල් සොහොයුරිය වන මුණසිංහආරච්චිගේ සෙව්වන්දි මිහිරානි මහත්මිය.
මම විවාහ වෙලා මාතර ඉන්නේ. නැතිවෙලා ඉන්නේ මගේ ලොකු මල්ලිලා දෙන්නා. උදේ පාන්දර අම්මා මගේ මහත්තයාගේ ෆෝන් එකට කෝල් එකක් අරගෙන තිබුණා. පස්සේ මන් අම්මගේ ෆෝන් එකට කෝල් එකක් ගත්තා. නමුත් අම්මා කතා කලේ නෑ. අඩනවා විතරයි මට ඇහුණේ. පස්සේ එතන හිටිය නැන්දකෙනෙක් ෆෝන් එක අරගෙන කිව්වා පුතේ ගෙදර ලොකු කරදරයක් ඉක්මනට එන්න කිව්වා. මන් විස්තර ඇහුවට කවුරුවත් මොකුත් කිව්වේ නෑ. මන් හිතුවේ අම්මා අසනිප වෙලා වෙන්න ඇති කියලයි.
උදේ මන් ගෙදර එන්න සුදානම් වෙනකොට ප්රවෘත්ති වලට කිව්වා මත්තල රිය අනතුරකින් දෙන්නෙක් මැරිලා කියලා. මන් ගෙදර එනකොටත් සමහරු කතා වුනා මත්තල හන්දියේ දෙන්නෙක් හැප්පිලා මැරිලා කියලා. හැබැයි මන් හිතුවේ නෑ ඒ මැරිලා තියෙන්නේ මගේ මල්ලිලා දෙන්නා කියලා. මන් ගෙදරට ආවම තමයි විස්තරේ දැනගත්තේ. අපේ පවුලම ගොඩ ගන්න හිටිය මල්ලිලා දෙන්නා තමයි අද අපිට නැති වුනේ. පොඩි මල්ලී ඉගෙන ගන්න ගොඩක් දක්ෂයි. උසස්පෙළ ලියන්න හිටියේ 2016 අගෝස්තු මාසේ. ඒ නිසා මල්ලි එක දවසක්වත් පන්ති මග ඇරියේ නෑ. අපිත් හරි ආසාවෙන් හිටියේ මල්ලි කැම්පස් යන දවස එනකම්. අම්මලාගේ හිනය වුනෙත් ඒක. නමුත් ඒ හින ඔක්කොම නැතිවෙලා ගියා. අද අපි ගොඩක් අසරණ වෙලා යැයි ඇය ඇඩු කදුළින් අපත් සමග පැවසීය.
11 දින සිදුවු මෙම මාරක රිය අනතුර පිළිබදව දැනගත් අවට ගම්වල සියළු දෙනා එදා දවසේ දමාගෙන තිබු වැඩ සියල්ල පසෙකලා අනතුරින් මියගිය පවුලේ අය සමග දුක බෙදාගන්නට එක් වුයේ අන් කිසිවක් නිසා නොව මේ පවුලේ සියළු දෙනා අසල ගම් වැසියන් සියළු දෙනාගේ හිත් දිනාගෙන සිටි පිරිසක් වු නිසාවෙනි. මියගිය තරුණයන් දෙදෙනාද ගමේ පමණක් නොව අසල සියළු ගම්මාවලව පවතින පොදු වැඩ වලට සහභාගී වූ නිහතමානී තරුණයන් දෙදෙනෙකි.
අනතුරින් මියගිය තරුණයන් දෙදෙනාගේ නිවසට විශාල පිරිසක් පැමිණ සිටි අතර ඇසු දුටු සියළු දෙනා අනේ හපොයි වුණ අපරාධයක් යැයි පවසන අතර තවත් පිරිසක් මේ අසැල්වැසි පවුලට සිදුවු මේ ඛේදවාචකය නිසා හැඬූ කදුළින් පසුවෙන අයුරුද එහි ගිය අපට පෙනුනි.
මේ අනතුර පිළිබදව ලිපිය අවසන් කිරිමට පෙර තවත් ලිවිය යුතු යමක් ඇත. ඒ මෙම ප්‍රදේශවල සිටින බොහෝ තරැණයන්ටද මෙම අනතුර හොද පාඩමක් බවයි. මන්ද උදේ සවස මෙම මාර්ගයේ ගමන් කරණ බොහෝ යතුරුපැදි පදින තරුණයන් ආරක්ෂිත හිස් වැසුම් නොපැළදිමත්,යතුරු පැදියේ නියමිත වේගයට වඩා වැඩි අනාරක්ෂිත අයුරින් මාර්ගයේ ධාවනය කිරීමත්ය. අනතුර සිදුවු ප්‍රදේශයේ රථවාහන පොලිස් නිළධාරීන්ද රාජකාරී කිරීම දක්නට නැත්තේ පොලිස් ස්ථානයේ සිට ඇති දුර නිසාවෙන් යැයි සිතෙයි. කෙසේවෙතත් මෙවැනි ඛේදවාචකයක් නැවත සිදුවීමට ඉඩ නොතැබිය යුතුය.
Post a Comment