ගමන් වාරය එනකම්
කුඩු උරපු 176 බස් ඩ්‍රයිවර්ලා
මාට්ටු
සිය බස් ගමන් වාරය ලැබෙනතුරු මත්කුඩු පානය කරමින් සිටි පෞද්ගලික බස් රියෑදුරන් දෙදෙනකු හා කොන්දොස්තරවරයකු නුගේගොඩ පොදු බස් නැවතුම්පළේදී අත්අඩංගුවට ගැනීමට මිරිහාන විශේෂ මත්ද්‍රව්‍ය වැටලීම් ඒකකය ඊයේ (29 වැනිදා) උදේ සමත්වී තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මාර්ග අංක 176 නුගේගොඩ - හෙට්ටියාවත්ත අතර ධාවනය වන පෞද්ගලික බස් රථ රියෑදුරන් දෙදෙනකු හා කොන්දොස්තරවරයෙකි.
බොහෝ බස් රථ රියෑදුරන් හා කොන්දොස්තරවරුන් මත්කුඩු පානය කර බස් රථ පදවන බවට මගීන්ගෙන් එම ඒකකයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ක්‍රිෂාන්ත කාරියවසම් මහතාට ලැබුණු පැමිණිලි ගණනාවක් සම්බන්ධයෙන් අවධානය යොමුකර ආවේක්ෂණ නිලධාරීන් යොදවා සොයා බැලීමේ ප්‍රතිඵලයක් හැටියට එම බස් රථ රියෑදුරන් දෙදෙනා හා කොන්දොස්තරවරයකු කොටුකරගත් බවද එම ඒකකය පවසයි.
මෙම තිදෙනාම නුගේගොඩ පදිංචි අවුරුදු 50, 33, 41 යන වයස්වල පසුවන්නන් බවද එම ඒකකය කියයි. මේ අතර මත්කුඩු පානය කරන තවත් බස් රථ රියෑදුරන් හා කොන්දොස්තරවරුන් ඇත්නම් වහාම මිරිහාන පොලිසියට දැනුම් දෙන්නැයිද එම ඒකකය මගී ජනතාවගෙන් ඉල්ලා සිටියේය.
Post a Comment