රත්ගම මනෝජ්ගේ ඝාතනයත් එක්ක එළියට බැස්ස
දකුණේ නොනවතින ඝාතන රැල්ලෙන් බිහිවුණු
මරාගෙන මැරෙන පාතාලය - වීඩියෝ
නොවැම්බර් 20 පළමු සිද්ධිය,දෙසැම්බර් 08 දෙදෙනෙකුට වෙඩි,
ජනවාරි 5 වැරදුණු කුරුමානමක්,ජනවාරි 6 තවත් වෙඩි තැබීමක්
ජනවාරි 11 වෙඩි තබා ඇසිඩ් ගැසූ ‘‘සුසා‘‘
පසුගියදා එකපෙළට අම්බලන්ගොඩ සහ හික්කඩුව පොලිස් බල ප්‍රදේශවල සිදුවූ මනුෂ්‍ය ඝාතනය සහ වෙඩි තැබිමේ සිද්ධීන් සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙකු මීටියාගොඩ පොලිසිය භාරයට ගෙන තිබෙනවා. ඔවුන්ගෙන් මේ වනවිටත් ප්‍රශ්න කිරීම් සිදු කෙරෙමින් සිටින බවටයි වාර්තා වන්නේ.
පසුගිය කාලයේ ප්‍රදේශයේ සිදුවූ ඝාතන සහ වෙඩි තැබීමේ සිද්ධීන් අතර සම්බන්ධයක් පවතින බවට ප්‍රදේශවාසීන් තුළ සැක මතු වී තිබෙනවා. අම්බලන්ගොඩ, මීටියාගොඩ සහ හික්කඩුව ප්‍රදේශවල පසුගිය මාස එකහමාරක පමණ කාලය තුළ මනුෂ්‍ය ඝාතන සහ වෙඩි තැබීමේ සිද්ධීන් 5 ක් වාර්තා වුණා.
ඉන් සිදුවීම් 3ක්ම වාර්ත වූයේ ගත වූ දින 12 තුලයි. මීටියාගොඩ - නවාගන්නකොළ ප්‍රදේශයේදී පුද්ගලයෙක් පසුගිය වසරේ නොවැම්බර් 20 වැනිදා ඝාතනයට ලක්වීම මෙම ඝාතන රැල්ලේ පළමු සිදුවීමයි.
දෙසැම්බර් 08 වැනිදා හික්කඩුව - පතන - පන්විල ප්‍රදේශයේදී පුද්ගලයන් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කෙරුණා.
ජනවාරි 5 වැනිදා මීටියාගොඩ ප්‍රදේශයේදී වෙඩි තැබීමක් සිදුවූ අතර, ඉන් කිසිවෙකුටත් හානි සිදුවූයේ නැහැ. පරීක්ෂණවලදී අනාවරණ වුණේ රත්ගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති මනෝජ් මෙන්ඩිස් මහතා ඝාතන සිද්ධියේ සැකකරුවෙකුගේ නිවසට මෙම වෙඩි ප්‍රහාරය එල්ල වූ බවයි.
ජනවාරි 6 වැනිදා පැරැලිය - තෙල්වත්ත ප්‍රදේශයේදී හිටපු සභාපති මනෝජ් මෙන්ඩිස්ගේ ආධාරකරුවෙකුට වෙඩි ප්‍රහාරයක් එල්ල වු අතර, ඉන් එම පුද්ගලයාට හානියක් සිදුවුණේ නැහැ.
මෙම සිදුවීම් මාලාවේ ආසන්නතම සිද්ධිය වාර්තා වුණේ අම්බලන්ගොඩ - මාදම්පේ ප්‍රදේශයෙන්.
ඝාතනයට ලක්වූ පුද්ගල මළසිරුරක් ඊයේ සොයා ගැනුණ අතර, ඔහු හිටපු සභාපතිවරයාගේ ආධාරකරුවෙක්. මළසිරුර අසල තිබී පතොරම් කිහිපයක් සොයා ගැනුණු අතර, එම පුද්ගලයාට ඇසිඩ් ප්‍රහාරයක් ද එල්ල කර තිබුණා.
පරීක්ෂණවලදී අනාවරණ වුණේ එම සිද්ධීන් දෙකේදීම වෙඩි තැබීමට යොදාගෙන තිබුණේ ස්වයංක්‍රීය පිස්තෝලයක් බවයි. හික්කඩුව - වෑවල ප්‍රදේශයේ හෝටලයක් තුලදී රත්ගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති මනෝජ් මෙන්ඩිස් මහතා වෙඩි ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්වුණේ පසුගිය වසරේ මාර්තු 23 වැනිදායි.
කෙසේ වෙතත්, මෙම ඝාතන සිද්ධීන් අතර සෘජු සම්බන්ධයක් පවතින්නේදැයි තවමත් අනාවරණ කරගෙන නැහැ.
පොලිසිය විශ්වාස කරන්නේ දැනට පොලිස් භාරයේ සිටින සැකකරුවන් තිදෙනාගෙන් සිදු කෙරෙන ප්‍රශ්න කිරීම් අවසානයේ ඒ පිළිබඳ නිශ්චිත තොරතුරක් ලැබෙනු ඇති බවයි.

Post a Comment