නවසීලන්තේ එක්ක අන්තිම මැච් එක පැරදුනේ
ටීම් එක රෑ එළිවෙනකම්
පාටි දාලද ?
මසකට අධික කාලයක් පුරා නවසීලන්තයේදී ටෙස්ට් එක්දින සහ පන්දුවාර 20 තරග 9 කට මුහුණ දුන් ශ්‍රී ලංකා කණ්ඩායම ඒ සියලු තරගාවලි පරාජය වුණා. මුළු සංචාරයේදීම ඔවුන්ට ජය ගැනීමට හැකි වුණේ එක්දින තරගයක් පමණයි.
මෙම තරග සංචාරයේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ දස්කම් පිළිබඳ නැවත හැරී බලන්නට අප කල්පනා කළේ එබැවින්. නවක ක්‍රීඩකයන් රැසකගෙන් සැදුම්ලත් ශ්‍රී ලංකා කණ්ඩායම නවසීලන්ත තරග සංචාරයට එක් වුණේ අභියෝගයක් ද සමගින්.
නමුත්, තම පෞද්ගලික දක්ෂතා වැඩිදියුණු කර ගන්නට හෝ බොහෝ ක්‍රීඩකයන් මෙම තරගාවලිය තුළදි අසමත් වීම කැපී පෙනුණා. ටෙස්ට් තරග දෙකටම ක්‍රීඩා කළ කිතුරුවන් විතානගේ ඉනිම 4 කදීම රැස් කළේ ලකුණු 69 ක් පමණයි. ඔහුගේ පන්දුවාර 20 ඉනිම එක් ලකුණකට සීමා වුණා.
ශ්‍රී ලංකාව ජයගත් එක්දින තරගයේදී නොදැවී ලකුණු 87 ක් රැස් කළ ලහිරු තිරිමාන්න ඉතිරි එක්දින ඉනිම තුනේදීම රැස් කළේ ලකුණු 4 ක් පමණයි.
එමෙන්ම එක්දින තරගාවලියේදී මිලින්ද සිරිවර්ධන සහ ඇන්ජලෝ මැතිව්ස් හැරුණු විට අන් කිසිදු ක්‍රීඩකයෙකුට පන්දු යවන්නෙකු වූ නුවන් කුලසේකර ගේ ලකුණු සාමාන්‍ය ඉක්මවා යාමට නොහැකි වීම කනගාටුවට කරුණක්.
දිගින් දිගටම තේරීම් කමිටුවේ අනුකම්පාව දිනා ගන්නා තිසර පෙරේරා තම තෝරා ගැනීමට සාධාරණයක් ඉටු කරන්නේ කවදාද යන්න තවමත් ගැටලුවක්.
පන්දුවාර 20 තරග දෙකේදී ඔහුගේ ලකුණු එකතුව 34 කට සීමා වූ අතර, ඒ සඳහා ද ඔහු පන්දු 29 ක් වැය කළා. එමෙන්ම, තරග දෙකේදී තිසර එක් කඩුල්ලක් දවා ගත්තේ ලකුණු 65 ක් ලබාදෙමින්.
එක්දින තරගාවලියේදී ද පන්දුවෙන් හෝ පිත්තෙන් සැලකිය යුතු දායකත්වයක් ලබා දෙන්නට තිසර කටයුතු කළේ නැහැ. සිය දස්කම් හඳුනා ගැනීමට තවමත් නොහැකි වී සිටින චාමර කපුගෙදරගේ එක්දින ඉනිම 3 ක් ලකුණු 30 කට සීමා වුණේ ඔහුගේ ක්‍රිකට් අනාගතය ද උකසට තබමින්.
නවකයන් ලෙස කණ්ඩායමට එක් වූ උදාර ජයසුන්දරට හා ෂෙහාන් ජයසුරියටත් ලද අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නට නොහැකි වීම කනගාටුවට කරුණක්.
අගනා ටෙස්ට් ඉනිම කිහිපයකින් තරගාවලිය ආරම්භ කළ දිනේෂ් චන්දිමාල් තරගාවලියේ අවසන් භාගය වනවිට නවක ක්‍රීඩකයෙකුගේ තත්ත්වයට ඇද වැටුණේ කුමන හේතුවක් නිසාද යන්න ක්‍රිකට් බලධාරීන් සොයා බැලිය යුතුයි.
විශේෂයෙන්ම පන්දුවාර 20 නායකයා ලෙස තමන්ට පැවරුණු වගකීම නිසි අයුරින් ඉටු කරන්නටත් චන්දිමාල්ට හැකිවුණේ නැහැ.
මෑත කාලීනව ශ්‍රී ලංකා කණ්ඩායමේ සාර්ථකම සොයා ගැනීම වූ මිලින්ද සිරිවර්ධන මෙම තරගාවලියේදීත් තම දායකත්වය මැනවින් ලබාදුන්නා. නමුත්, ඔහු සතු අභියෝගය වන්නේ දිගු ඉනිම් ක්‍රීඩා කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යාමයි.
මේ අතර, නවසීලන්ත සංචාරයේ තරග පරාජය වීමට හේතුව ඇතැම් ක්‍රීඩකයන් ක්‍රීඩාව පසෙක තබා වෙනත් දේ පිළිබඳව අවධානය යොමු කිරීම බවයි ඇතැම් ක්‍රීඩා ලෝලීන් චෝදනා කරන්නේ.
අවසන් පන්දුවාර 20 ක්‍රිකට් තරගය පැවැති දින අලුයම් කාලය දක්වා ක්‍රීඩකයන් රැසක් සාදයකට එක් වී සිටි බව නවසීලන්තයේ පදිංචි ශ්‍රී ලාංකිකයන් පිරිසක් ෆේස් බුක් සමාජ ජාල වෙබ් අඩවිය හරහා මෙසේ චෝදනා කර තිබුණා.
කෙසේ වෙතත්, අනාගතයේදී මෙවන් නින්දාසහගත පරාජයන් වළක්වා ගැනීමට අවශ්‍ය පියවර ගැනීම නව ක්‍රිකට් පරිපාලනයේ ප්‍රධානතම වගකීමයි.

Post a Comment