අපි කම්පා වෙනවා - මාදුළුවාවේ සොබිත හිමි
ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය ඇමැතිවරුන් 30 කට සීමා කරන බවට පොරොන්දු වී බලයට පැමිණෙන වර්තමාන ආණ්ඩුව ජාතික ආණ්ඩුවක් පිහිටුවන බව පවසමින් විශාල ඇමැති මණ්ඩලයක් පත්කිරීම පිළිබඳව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු සහ කෝට්ටේ ශ්‍රී නාග විහාරාධිපති පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන් පසුවන්නේ බලවත් කලකිරීමෙනි.
ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය ඇමැතිවරුන් 30 කට සීමා කරන බවට පොරොන්දු වී බලයට පැමිණෙන වර්තමාන ආණ්ඩුව ජාතික ආණ්ඩුවක් පිහිටුවන බව පවසමින් විශාල ඇමැති මණ්ඩලයක් පත්කිරීම පිළිබඳව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු සහ කෝට්ටේ ශ්‍රී නාග විහාරාධිපති පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන් පසුවන්නේ බලවත් කලකිරීමෙනි.
පසුගිය බදාදා, නව රාජ්‍ය හා නියෝජ්‍ය ඇමැතිවරුන් දිවුරුම්දීමට පෙර පැවැති සාකච්ඡාවකදී උන්වහන්සේ වර්තමාන ආණ්ඩුවේ ක්‍රියා කලාපය පිළිබඳව අප්‍රසාදය පළ කළහ.
එහිදී සෝභිත හිමියෝ අප ඇසූ ප්‍රශ්නවලට දුන් පිළිතුරු මෙසේය.
ප්‍ර-ඔබ වහන්සේගේ නායකත්වයෙන් ආරම්භ වූ 'සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය' විධායක ජනාධිපති ක්‍රමය අහෝසිකොට ප්රජාතන්ත්රවාදී පාලනයක් ඇතිකිරීම සඳහා කැපවී කටයුතු කළා. ඒ අනුව නව ආණ්ඩුවක්ද පිහිටුවා ගනු ලැබුවා. ආණ්ඩුවේ ක්‍රියාකලාපය ගැන මොනවද හිතෙන්නේ?
පි - පසුගිය ජනවාරි 8 දා මේ රටේ ඇතිවූ වෙනස මගින් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම, මනාප ඡන්ද ක්‍රමය වෙනුවට කොට්ඨාස ක්‍රමයට මන්ත්‍රීවරුන් පත්කිරීම ඇතුළු ප්රගතිශීලී ප්‍රතිසංස්කරණ ආණ්ඩුව ලවා ක්‍රියාත්මක කරවා ගැනීමට අප ඉල්ලීම් කළා. ඒ අනුව තමයි 19 වැනි සංශෝධනය ගෙනාවේ. ඒකෙන් ජනාධිපතිවරයා සතු විධායක බලතල අඩු කරන බව කියා සිටියත් එය පාර්ලිමේන්තුවේදී සම්මත වන අවස්ථාව වන විට එහි වෙනස්කම් රාශියක් සිදුකොට තිබුණා. පක්ෂ මාරු කිරීමට නොහැකි බවට එහි තිබූ වගන්තිය විපක්ෂය විසින් සංශෝධනවලදී ඉවත් කළා. සුළුතර ආණ්ඩුවකින් මෙය සම්මත කිරීමට සිදුවූ නිසයි මේ තත්ත්වය ඇතිවුණේ. අන්තිමේදී පාර්ලිමේන්තුව වසර 4 1/2 ක් ගතවනතුරු විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට නොහැකිවීම, ජනාධිපතිවරයාගේ ධුර කාලය වසර 5 දක්වා අඩු කිරීම මගින් පමණයි ජනාධිපතිවරයාගේ බලතල සීමාවුණේ. 19 වැනි සංශෝධනයෙන් අනිකුත් විධායක බලතලවල කිසිදු වෙනසක් සිදුවී නැහැ.
දින 100 තුළ සම්මත කර ගැනීමට නියමිතව තිබූ 20 වැනි සංශෝධනය, විගණන පනත, තොරතුරු දැනගැනීමේ පනත ආදී ප්රගතිශීලී පනත් රැසක් ඇනහිටියා. දැන් ඒවා මේ ආණ්ඩුව මගින් ඉටුකරවා ගැනීමට කටයුතු කළ යුතුව තිබෙනවා. අපි රට ප්රගතිශීලී මාවතට ගෙන එන්න විශාල බලපෑමක් කළත් එය කළ නොහැකි වුණා. ඒත් අපි අධෛර්යමත් වන්නේ නැහැ. මේ ආණ්ඩුqව බලයට පත්කිරීමට කටයුතු කළ සිවිල් සංවිධාන සමඟ අපි ශක්තිමත් ලෙස ආණ්ඩුවට බලපෑම් කළ යුතුව තිබෙනවා.
ප්‍ර - ඒ වුණාට ආණ්ඩුව ඔබ වහන්සේලාගේ බලපෑම් ගණන් ගන්නා බවක් පෙනෙන්නට නැහැ නේද?
පි- ජනාධිපති සිරිසේන මැතිතුමා බලයට පත්කිරීම සඳහා කැපවී කටයුතු කළ සිවිල් සංවිධාන රාශියක් පසුගිය මැතිවරණයේදී පගාකාරයන්, කුඩුකාරයන්, එතනෝල්කාරයන් ආදී දූෂිතයන්ට නාමයෝජනා ලබා නොදෙන ලෙස මාර්තු 12 ප්‍රකාශය මගින් සෑම දේශපාලන පක්ෂයකින්ම ඉල්ලා සිටියා. පක්ෂ නායකයන් සියලු දෙනාම එදින පැමිණ අපේ ඉල්ලීමට එකඟවෙමින් එම ප්‍රකාශයට අත්සන් කළා. ඒත් මොකද වුණේ? මැතිවරණයට නාමයෝජනා දීමේදි මෙම චෝදනා එල්ලවූ දූෂිතයන් ර dශියකට නාමයෝජනා ලබාදී තිබුණා. එවැනි පුද්ගලයන් ගණනාවක් මෙවර ජයගෙන තිබෙනවා.
ප්‍ර - මෙහෙම වෙන්නට හේතුව කුමක්ද?
පි - දේශපාලන පක්ෂ බලන්නේ කොහොමහරි ඡන්දය දිනාගන්නටයි. මේ ක්‍රමය යටතේ අපේක්ෂකයකුට ඡන්දයක් දිනා ගැනීමට රුපියල් කෝටියක් පමණ වියදම් කිරීමට සිදුවෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට මසකට ලැබෙන වැටුප් හා දීමනා රුපියල් ලක්ෂය යෑයි සිතමු. එවිට අවුරුද්දකට ලක්ෂ 12 යි. අවුරුදු 5 ට ලක්ෂ 60 යි. ඉතින් මේ රු. ලක්ෂ 60 උපායගන්න කෝටි 15 ක් වියදම් කිරීමේ රහස කුමක්ද? සාමාන්‍ය කෙනකුට ඒ තරම් මුදලක් වැයකර ගන්නට පුළුවන්ද? එහෙම කරන්න පුළුවන් කුඩු, එතනෝල් වැනි නීති විරෝධී ජාවාරම්වලින් මුදල් උපයන අයට පමණයි. මේ මනාප ඡන්ද ක්‍රමය පවතිනතුරු මේ තත්ත්වය වෙනස් කරන්නට බැහැ.
ප්‍ර - ජනතාව විසින් ඡන්දයෙන් පරාජය කරපු අය ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රීවරුන් ලෙස පත්කොට ඇමැති තනතුරුත් දීල නේද?
පි - පසුගිය ඡන්දෙදි මිනිස්සු සමහර අපේක්ෂකයන් පාර්ලිමේන්තුවට යෑවීමට සුදුසු නැහැ කියලා පරාජය කළා. කාලයක් තිස්සේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය බූදලයක් කරගෙන සිටි කට්ටියකට අකුලාගෙන ගෙදර යන්නට සිදුවුණා. ජනමතය ඒ තරම් ප්‍රබලයි. ඒත් පරාජිතයන් ජාතික ලැයිස්තුවෙන් නැවතත් පාර්ලිමේන්තුවට පත්කිරීම මගින් මේ ආණ්ඩුව ජනමතයට පයින් ගසා තිබෙන බවයි කියන්න තියෙන්නේ.
එසේම ජනතාව විසින් ප්‍රතික්ෂේප කළ අය පාර්ලිමේන්තුවට ජාතික ලැයිස්තුවෙන් පත්කර ඔවුන්ට ඇමැති තනතුරු දීම ඉතාමත් අශෝභනයි. මේක විලිලැඡ්ජා නැති වැඩක්. මීට පස්සේ ඒ ලෙවෙල් විභාගෙටත් ජාතික ලැයිස්තුවක් දාන්න ඕන. විභාගයෙන් පේල්වෙන අය ජාතික ලැයිස්තුවෙන් පාස් කිරීමට. ඒ වගේම වැඩක්නේ මේක. මේ බහුබූත වැඩවලින් ජාතික ලැයිස්තුවේ අරමුණු සම්පූර්ණයෙන් බිඳ වැටිලා.
ප්‍ර - වර්තමාන ජාතික ආණ්ඩුව ඔබ වහන්සේ දකින්නේ කොහොමද?
පි - මේක ජාතික ආණ්ඩුවක් නොවෙයි. සභාග ආණ්ඩුවක්. ජාතික ආණ්ඩු පිහිටුවන්නේ රටක යුද්ධයක්, ජාතික ආපදාවක් වැනි අවස්ථාවලයි. මේ ජාතික ආණ්ඩුව පිහිටුවාගෙන තියෙන්නේ ප්‍රධාන පක්ෂ දෙක එකතුවෙලා ඇමැතිකම් බෙදා ගැනීමටයි. මේ ජාතික ආණ්ඩු සංකල්පය මගින් රටේ බරපතළ අර්බුදයක් ඇතිකර තිබෙනවා. අගමැතිවරයා දිවුරුම් දුන් අවස්ථාවේ එක්සත් ජාතික පක්ෂයේ මහලේකම්වරයාත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්වරයාත් ගිවිසුමක් අත්සන් කළා. අපි ඒ ගිවිසුමේ අඩංගු කරුණු ගැන කිසිවක් දැනගෙන සිටියේ නැහැ.
ප්‍ර - විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමක් ගැන එහි වචනයක්වත් සඳහන් වෙලා නැහැ නේද?
පි - ඔව්. ඒකට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එකඟ වෙලා නැහැ. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන බවට ඒ ගිවිසුමට ඇතුළත්කොට තිබූ වගන්තිය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ විරෝධය නිසා ඉවත්කළ බව දැනගන්නට තියෙනවා. ජාතික ආණ්ඩුවකට මේ අය එකතුවුණේ ඇයිදැයි කියා අපට තේරෙන්නේ නැහැ.
ප්‍ර - ජාතික ආණ්ඩුවක කැබිනට් ඇමැති තනතුරු 30 යි කියලනේ 19 වැනි සංශෝධනයේ තියෙන්නේ. දැන් එය 48 දක්වාත් රාජ්‍ය හා නියෝජ්‍ය ඇමැති තනතුරු ගණන 45 දක්වාත් වැඩිකරගෙන තිබෙනවා. ඒ පිළිබඳ යෝජනාවට විරුද්ධව ඡන්දය දී තිබුණේ 16 දෙනයි.?
පි - මං කලින් කිව්ව වගේ ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට තරම් සුවිශේෂී තත්ත්වයක් මේ රටේ නැහැ. ප්‍රධාන පක්ෂ දෙකටම බහුතර බලයක් නොලැබුණු නිසා ඔවුන් එකතුවී ඇමැති තනතුරු බෙදා ගැනීමටයි මේ ජාතික ආණ්ඩුව පිහිටුවාගෙන තිබෙන්නේ. ඇමැති තනතුරු ලබා ගැනීමට වැඩි දෙනා කැමැති නිසා ඔවුන් මේ යෝජනාවට ඡන්දය දී තිබෙනවා. එතෙනදී පක්ෂ භේදයක් තිබිල නැති බවයි පේන්නේ.
මේක නියම ජාතික ආණ්ඩුවක් නම් දෙගොල්ලොම පැහැදිලිව රටට කියන්න ඕන ජාතික ආණ්ඩුවක් හැදීමට තිබෙන ජාතික වැදගත්කම මොකක්ද කියලා. නියම ජාතික ආණ්ඩුවක් පිහිටුවන්නට නම් ටී. එන්. ඒ. පක්ෂයත් ජනතා විමුක්ති පෙරමුණත් එකතුකරගන්න ඕන. පක්ෂ දෙකක් එකතුවෙලා පිහිටුවන ජාතික ආණ්ඩුව මොකක්ද?
ප්‍ර-මේ ආණ්ඩුවට ඇමැති මණ්ඩලය පත්කර ගැනීමටත් සති ගණනාවක් ගතවුණානේ.?
පි - මේ ආණ්ඩුවේ ආරම්භය අප්රස්සන්නයි. එය බොහොම නරක ආරම්භයක්. ඇමැති තනතුරු බෙදා ගන්නට ගිහින් කුලල් කා ගැනීම නිසයි. ඇමැති මණ්ඩලය පත්කිරීමට කල්ගතවී තිබෙන්නේ. හැමෝම බලන්නේ වැඩියෙන් රස්සා දෙන්නට පුළුවන්, වැඩියෙන් සල්ලි සොයන්න පුළුවන් අමාත්‍යාංශ ලබා ගන්නයි. ඒ වගේම ජනාධිපතිතුමා බලන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් කරන්න. අගමැතිතුමා හදන්නෙ යූඑන්පිය ශක්තිමත් කරන්න. නමුත් කළ යුතුව තිබෙන්නේ පක්ෂ නොව රට සංවර්ධනය කර ඉදිරියට ගෙන යැමටයි. පක්ෂයට තැන දෙන්න ගියොත් ඉවරයි.
ප්‍ර - පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 56 ක් අත්සන් කොට විපක්ෂ නායක ධුරයට කුමාර වෙල්ගම මහතා පත්කරන ලෙස ඉල්ලා තිබියදීත් මන්ත්‍රීවරුන් 18 ක් සිටින දෙමළ ජාතික සන්ධානයට විපක්ෂ නායක ධුරය ලබාදීම ගැන විවේචන තියෙනවා. ඒ ගැන ඔබවහන්සේගේ අදහස?
පි - සන්ධානයේ අයත් ආණ්ඩුවට එකතුවෙලා ඇමැතිකම් ලබාගෙන තිබියදී සන්ධානය විපක්ෂයේ පක්ෂයක් ලෙස හඳුන්වන්නට බැහැ. 'ඊළඟට වැඩිම ආසන ගණනක් ලබාගෙන තිබූ දෙමළ ජාතික සන්ධානයට විපක්ෂ නායක ධුරය දිය යුතු වුණා. ඒකෙ වරදක් නැහැ. ඒක නීත්‍යනුකූලයි. ව්‍යවස්ථානුකූලයි. සන්ධානය ආණ්ඩුවට එකතු නොවී සිටියා නම් ඔවුන්ට විපක්ෂ නායක ධුරය ලබාගන්න තිබුණා.
ප්‍ර- පසුගිය ආණ්ඩුව කාලයේ සිදුවුණා යයි කියන සොරකම් වංචා, දූෂණ ගැන එµa සී. අයි. ඩී, එක අල්ලස් කොමිසම, රහස් පොලිසිය, බරපතළ වංචා විභාග කිරීමේ ජනාධිපති කොමිසම ආදිය මගින් පරීක්ෂණ පවත්වනවා. මාසයක් පමණ ගතවෙලා තියෙනවා. කෝ කාටවත් තවම අධිකරණයකින් දඬුවම් දීල නැහැනේ?
පි - ඒවා ගැන පරීක්ෂණ පැවැත්වීමට දිර්ඝ කාලයක් ගතවන බව කියනවා. දැනටමත් විශාල පිරිසකගෙන් ප්‍රශ්නකොට තිබෙනවා. ඒත් සමහර සිද්ධවෙන දේවල් බැලුවාම සැකයකුත් ඇතිවෙනවා. මොකද දැන් දෙගොල්ලොම එකතුවෙලා ඒගොල්ලන්ට විරුද්ධව දාපු නඩු මේ ගොල්ලො අස්කරගන්නවා. මේගොල්ලන්ට විරුද්ධව දාපු නඩු ඒගොල්ලො අස්කර ගන්නවා. මහ බැංකු බැඳුම්කර සිද්ධියේ දෙපැත්තේ පවරා තිබූ නඩු ඒ අනුව අස්කර ගත්තා. අපි තමයි රැවටුනේ. පසුගිය කාලෙ කුඩුකාරයො, එතනෝල්කාරයො කියා චෝදනාකොට තිබූ අයටත් දැන් ඇමැති තනතුරු ලැබිලා තියෙනවා. ජාතික ආණ්ඩුවට ආවා කියලා ඒ චෝදනා නැති වෙන්නේ නැහැ.
ප්‍ර - මේ ආණ්ඩුව බලයට පත්කරන්නට මූලික වූ කෙනකු වශයෙන් ආණ්ඩුව හරිපාරට ගැනීම සඳහා නායකයන්ට බලපෑම් කිරීමට ඔබවහන්සේට පුළුවන්කම තිබෙනවා,?
පි - පක්ෂ දේශපාලනයට වඩා ප්‍රතිපත්ති දේශපාලනයට මේ නායකයන් යොමුකරවන්න ඕන. රටට පොරොන්දු වූ දේවල් ඉටුකරදෙන්න කියලා අපි බලපෑම් කරන්න ඕන. අපි හැමවිටම අපේ පැත්තෙන් බලපෑම් කරනවා. පසුගිය දවසක අගමැතිතුමා එක්කත් මේ ගැන සාකච්ඡා කළා. අපි බලපෑම් නොකර ඉන්නේ නැහැ.
අධ්‍යාපන ප්‍රතිපත්තියක් හදාගෙන, සෞඛ්‍ය ප්‍රතිපත්තියක් හදාගෙන සැලසුම්සහගතව ඉදිරි ගමනක් යැම සඳහා ආණ්ඩුව මෙහෙයවීමට පුරවැසියන් වශයෙන් අපි බලපෑම් කරනවා. දැන් බලන්න ලංකාවෙ වැඩිහරියක් ගොවීන් ඉන්නෙ. අවුරුදු දහස් ගණනක් මේ රටේ ගොවිතැන් කළා. රජයක් හැටියට ඇයි තාම සූදානමක් තියෙනවද ගොවියගෙ නිෂ්පාදන ටික මිලයට ගන්න. වී ටික මිලයට ගෙන ඒ මිනිහට සැනසිල්ලෙ ගෙදර යන්න පුළුවන්කමක් තියෙනවද? මහන්සිවෙලා, ණයවෙලා.
දයා ලංකාපුර
sathhanda.com
Post a Comment