Contact Gossip Editor

Popular Posts

Popular on Facebook

Blog Archive

Powered by Blogger.

Gossip chat with Lasith Malinga  

මං ක්‍රීඩා කරන්නේ 
ෆේස්බුක් ලයික් බලාගෙන ‍නෙවෙයි – ලසිත් මාලිංග

සිත් මාලිංග යන නම ලංකාවේ කාටවත් විශේෂයෙන් හඳුන්වා දිය යුතු එකක් නොවෙයි. ශ්‍රී ලංකා ක්‍රිකට් පි‍ලේ පෙරළිකාරයා ලසිත් මාලිංග සමග රිවිසරසි කළ කතාබහක් මේ.

මාලිංග මේ දවස්වල පුහුණුවීම් කටයුතු එක්කද කාලය ගතවෙන්නේ?
මේ දවස්වල වැඩිපුර කාලයක් පුහුණුවීම් කටයුතුවලට යොදවනවා. තරග තවම පටන් ගත්තේ නැති නිසා ලොකු කාර්යබහුලකමක් නැහැ.


තරගයක් දිනුවත් පැරදුණත් මුලින්ම ක්‍රීඩාලෝලීන්ගේ විචාරයට ලක්වෙන්නේ මාලිංග. ඒ ගැන දුකක් නැද්ද?
ක්‍රීඩාලෝලීන් විතරක් ‍නෙවෙයි හැම ක්‍රීඩකයෙක්ම කැමැතියි ජයග්‍රහණය ලබන්න. නමුත් හැම තරගයක්ම ජයගන්න බැහැ. මමත් අනෙක් ක්‍රීඩකයන් හැමෝමත් හැම තරගයක්ම උපරිමයෙන් කරනවා. අපිට වැදගත් වෙන්නේ රටේ ජයග්‍රහණය විතරයි. එතකොට මුළු සමාජයම ඒ ජයග්‍රහණය පිළිගන්නවා. තරග ජයග්‍රහණය කළොත් කියන්නේ අපි රට වෙනුවෙන් ක්‍රීඩා කළා කියලා. පැරදුණොත් අපි රට වෙනුවෙන් ක්‍රීඩා කළේ නැහැ කියනවා. මම විකට් ගත්තේ නැතත් ඒ චෝදනාවම එල්ල කරනවා. මම දැන් ජාතික කණ්ඩායම එක්ක එකතුවෙලා අවුරුදු එකොළහක් විතර ක්‍රීඩා කරනවා. ඒ කාලය පුරාවට ඒ හැමදේම මම විඳ දරාගෙන තියෙනවා. ඒක දැන් පුරුදු දෙයක්.



ෆේස්බුක් ඇතුළු සමාජ වබේ අඩවිවල ලසිත් මාලිංග හරි ජනප්‍රියයි නේද?
මං කවදාවත් සෝෂල් මීඩියා බලාගෙන වැඩ කළ කෙනෙක් ‍නෙවෙයි. සමහරු නම් ඉන්නවා ඒ ජනප්‍රියත්වය බලාගෙනම ක්‍රීඩා කරන අය. මට නම් එහෙම ඕන නැහැ. මං සෙල්ලම් කරන්නේ ෆේස්බුක් ලයික් ගාන බලාගෙන ‍නෙවෙයි.

ඇත්තටම ඕනෑම ක්‍රීඩකයෙක් ලොකු අවදානමක් අරගෙන පන්දු යැව්වොත් විතරයි හොඳ තරගයක් දෙන්න සමත් වෙන්නේ. අවදානම සාර්ථක වුණොත් ජයග්‍රහණය අනිවාර්යයි. ඇත්තටම මට වටින්නේ තරග ජයග්‍රහණය මිස ෆේස්බුක් ප්‍රතිචාර ‍නෙවෙයි.

ලසිත් මාලිංග හරි ආඩම්බරකාරයෙක් කියන එක ගැන ක්‍රීඩාලෝලීන් හරි කනගාටුවෙන් ඉන්නේ?
මාව ළඟින් ආශ්‍රය කරන කිසිම කෙනෙක් ඔය චෝදනාව මට එල්ල කරන්නේ නැහැ. ඕනෑම දෙයක නිගමනයට එන්න කලින් ළංවෙලා බලන්න ඕන කියන කරන දේ හරිද කියලා. එහෙම බලලා චෝදනා එල්ල කළාට කමක් නැහැ කියලා තමයි මම කියන්නේ. කොහොම වුණත් මං ආඩම්බර හෝ නිකරුණේ තරහා ගන්න කෙනෙක් ‍නෙවෙයි. මං ගැන දන්නෝ දන්නවා. ඒ වගේම මම ක්‍රීඩාලෝලීන්ට ගරු කරනවා. සිතීමේ අයිතිය මට නැති කරන්න බැහැ.


ක්‍රීඩා කරන්න කාලය තියෙද්දී හුඟක් ක්‍රීඩකයන් ක්‍රීඩාවෙන් සමුගන්නවා. මාලිංගත් ක්‍රිකට්වලින් විශ්‍රාම යන්න ළඟයිද?
මම ජාතික කණ්ඩායමට එකතු වුණාට පස්සේ එකදිගට කණ්ඩායමේ රැඳෙමින් ක්‍රීඩා කළා. ඒ වසර ගණනාවට මට හොඳින් පන්දු යවන්න බැරි වුණේ එකම එක අවස්ථාවකදී විතරයි. ඒ ගැන පුංචි දුකක් තියෙනවා.
විශ්‍රාම යන එක ගැන තවම අදහසක් නැහැ. කණ්ඩායමට අවශ්‍ය දක්ෂතම ක්‍රීඩකයන් තෝරාගන්නේ තේරීම් කමිටුව හා නායකයාගේ සහයෝගය ඇතිවයි. ඔවුන් තීරණය කළොත් මගේ දක්ෂතා තවදුරටත් කණ්ඩායමට අවශ්‍යයි කියලා ඒ තාක්කල් මම කණ්ඩායමේ රැඳෙමින් ක්‍රියාකරයි. තේරීම් කමිටුව දැනුම් දුන්නොත් මාලිංග කණ්ඩායමේ ස්ථානය තවදුරටත් රැකගන්න සුදුසු නෑ කියලා එදාට මම සතුටින් ක්‍රීඩාවෙන් සමුගන්නවා.

මාලිංග ක්‍රිකට් ගැන කලකිරීමෙන්ද ඉන්නේ?
කොහෙත්ම නැහැ. මට ක්‍රිකට්වලින් කලකිරෙන්න සිද්ධියක් සිදුවෙලා නැහැ අද වනතුරු. ඒ නිසා මට ලැබුණු අවස්ථාව ගැන මට සතුටුයි.


ජාතික කණ්ඩායමේ ස්ථිර ක්‍රීඩකයන්ගේ නම් ලැයිස්තුවේ අතලොස්ස අතරට මාලිංගගේ නමත් ඇතුළත් වුණා. වසර එකොළහක කාලය තුළ ක්‍රිකට් ගැන ඔබ සෑහීමකට පත්වෙනවාද?
මට වැරදුණ එකම තැනයි තියෙන්නේ ක්‍රිකට් ක්‍රීඩාවේ. මම ලැබුණු හැම ජයග්‍රහණයක් ගැනම සතුටු වෙනවා. මට එක දුකක් තියෙනවා. ඒ තමයි ක්‍රීඩකයෙක් වැඩි ලකුණු ප්‍රමාණයක් ගත්තාට පස්සේ හෝ කඩුලු වැඩි ප්‍රමාණයක් ගත් මොහොතේ තමන් ඇඳගෙන ඉන්න ටීෂර්ට් එකේ හෝ කැප් එකේ ඉන්න සිංහයාව ඉඹලා අත එහෙට මෙහෙට වනලා ප්‍රේක්ෂකාගාරයට ආචාර කළා නම් මෙයා මේ රට වෙනුවෙන් තමයි ක්‍රීඩා කළේ කියලා හිතනවා. ප්‍රේක්ෂකයන්ගේ මතය වෙලා තියෙන්නේ ඒකයි. මම කවදාවත් වැඩි කඩුලු ප්‍රමාණයක් හෝ වැඩි ලකුණු ප්‍රමාණයක් ගත්තට පස්සේ ඒ වගේ දේවල් කරන්නේ නැහැ. ඒ නිසා හැමෝම හිතනවා ඇති මම මේ ක්‍රීඩා කරන්නේ රට වෙනුවෙන් ‍නෙවෙයි කියලා. ඉතින් මට එකම එක දුකක් තියෙනවා එහෙම මම ගැන මතයක් ගොඩනැගිලා තියෙන එක ගැන. අපරාදේ මමත් එහෙම කළා නම් මාවත් සමාජය පිළිගනීවි, මමත් රට වෙනුවෙන් ක්‍රීඩා කළා කියලා. නමුත් මම එහෙම ජනප්‍රියත්වයක් බලා‍පොරොත්තු වෙන්නේ නැහැ. ඔය මතය හැර දුකක් මට නැහැ. මම රට වෙනුවෙන් යමක් කළා කියලා මට සතුටක් තියෙනවා.


මාලිංගගේ විලාසිතා අනුකරණය කරන පිරිසකුත් ඉන්නවා නේද?
මම දන්නේ නැහැ ඒ අය මම නිසා විලාසිතා වෙනස් කළාද කියලා. කවුරුහරි මම කරන විලාසිතා අනුගමනය කළා නම් ඒ අය කරන්නේ ඒ අයටත් ගැළපෙන නිසයි. මම වැරදි විලාසිතාවක් සමාජයට දීලා නැහැ. ඉතින් මම කරන ෆැෂන් රටේ කොල්ලෝ කොපි කරද්දී මට සතුටුයි.


ලසිත් මාලිංග කියන්නේ විලාසිතාවේදී බ්‍රෑන්ඩ් නේම්වලට මුල්තැන දෙන කෙනෙක්ද?
කොහෙත්ම නැහැ. මම මගේ ශරීර හැඩය අනුව හා මගේ පහසුව අනුවයි විලාසිතා කරන්නේ. එතැනදී මේ බ්‍රෑන්ඩ් එකේ ඇඳුම් පැලඳුම් විතරයි භාවිත කරන්නේ කියලා විලාසිතාවේ නීති දාගෙන නැහැ.


ඉස්සර වගේම ගැහැනු ළමයින්ගෙන් ලැබෙන ප්‍රතිචාරවල අඩුවක් නැතුව ඇති නේද?
ප්‍රතිචාරවල අඩුවක් නැහැ. කරදරයක් වෙලත් නැහැ ඒ ප්‍රතිචාර. නමුත් පරිස්සමින් ජීවත් වෙනවා.


ක්‍රිකට්වලට මාලිංගට බිරිඳගෙන් ලැබෙන සහයෝගය හා ඔබෙන් ගෙදරට ලැබෙන සහයෝගය කොයි විදිහටද ලැබෙන්නේ?
මගේ බිරිඳ ටානියා මිනෝලි පෙරේරා. ක්‍රිකට් ගැන නම් ගෙදරදී අපි කතා කරනවා අඩුයි. ටානියාට ක්‍රිකට් ගැන අවබෝධයකුත් නැහැ. සමහර වෙලාවට මම ක්‍රිකට්වලින් මානසිකව වැටුණ වෙලාවට එයා මගේ හිත හදලා තියෙනවා. මට ලොකු උදව්වක් එයාගෙන් වගේම දෙමාපියන්ගෙන් ලැබෙනවා. මමත් පුළුවන් විදිහට ගෙදර වැඩවලට උදව් කරනවා.


ඔබේ කාර්යබහුලකම දරුවෝ දෙන්නාට ප්‍රශ්නයක් වෙලා නැද්ද?
ලොකු දුව එකිෂා බිෂාක්ෂි වයස අවුරුදු හතරයි. පුතා දුවින් චදිෂ්. එයාගේ වයස අවුරුදු දෙකයි. ක්‍රිකට් ජීවිතයේ වසර එකොළහටම මට පළමු වරට පසුගිය මාස හතර පහේදි තමයි ලොකු නිවාඩුවක් ලැබුණේ තරග නැති නිසා. ඒ කාලය පුරාවට දරුවෝ දෙන්නා එක්ක හා බිරිඳ එක්ක කාලය ගතකළා. පුහුණුවීම් අවසන් වුණ ගමන් ඒ අය එක්ක තමයි කාලය ගත වෙන්නේ.


හර්ෂණී වීරරත්න | ඡායාරූප – වෙනුර චන්ද්‍රමාලිත

රිවිර

0 comments

Post a Comment

Popular Posts

Find us on Facebook

Gossip Lanka Stats

Blog Archive

Labels