පුංචි සදෙව්මි ඝාතනය කර ඇත්තේ
ඇය හොඳින්ම දන්න කෙනෙක්
විකෘති ආශාවන් සහිත පුද්ගලයෙකු ගැන සැක
ඝාතනයට ලක්වූ දිවුලපිටිය - කොටදෙනියාවේ සේයා සදෙව්මි දැරියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ඊයේ සිදුකිරීමෙන් පසු දැරියගේ නිවසට රැස්වූ අති විශාල ප්‍රදේශවාසීන් පිරිසක් ඝාතනයට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙස පොලීසියට බලකරමින් එහි දීර්ඝ වේලාවක් රැඳී සිට තිබෙනවා. එමෙන්ම පොලිසිය පවසන්නේ ඇයව ඝාතනය කර ඇත්තේ ඇයව හොඳින්ම දන්නා අයෙකු බවට සැක කරන බවයි.
දැරියගේ අවසන් කටයුතු කිරීමෙන් අනතුරුව නිවස අසල කළහකාරී අයුරින් හැසිරුණු පුද්ගලයන් දෙදෙනෙකුට දැඩිව අවවාද කළ බවයි පොලීසිය ප්‍රකාශ කළේ.
දහසකට ආසන්න ප්‍රදේශවාසීන් පිරිසක් අවමංගල කටයුත්තෙන් අනතුරුව දැරියගේ නිවස අවට රැඳී සිට තිබෙනවා. සේයා සදෙව්මි දැරියගේ දේහය පිළිබද අවසන් කටයුතු ඊයේ සිදු කෙරුණේ බඩල්ගම - අකරන්ගහ පොදු සුසානභූමියේදියි.
මේ වනවිට දැරිය ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රධාන සැකකරුවන් තුන්දෙනෙකු පිළිබඳව පොලිස් පරීක්ෂණ කණ්ඩායම්වල අවධානය මේ වනවිට යොමුව තිබෙනවා. ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු සඳහන් කළේ තවත් විශේෂඥ පරීක්ෂණ කිහිපයකින් පසු ඝාතන සිදුකළ පුද්ගලයා නිශ්චිතව හඳුනාගත හැකිවන බවයි.
විකෘති ආශාවන් සහිත පුද්ගලයෙකු මෙම ඝාතනය සිදුකර ඇති බවටයි පොලීසිය සැක කරන්නේ. පරීක්ෂණ කටයුතු බොහොදුරට අවසන් කර ඇති බවත් එමගින් යම් නිගමනයන්ට පැමිණීමට හැකිව ඇති බවත් අදහස් දැක්වූ පරීක්ෂණ මෙහෙය වන ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු තහවුරු කළා.
එසේම දැරිය ඝාතනය කළේ වෙනත් ප්‍රදේශයකින් පැමිණි පුද්ගලයෙකු නොව ඇය හොඳින්ම දන්නා, හඳුනන කෙනෙකු විසින් බවට පොලීසියට සැක කරනවා. දැරිය නිවසෙන් රැගෙන යන මොහොතේ කෑගැසීමක් සිදු නොකළේ ඒ නිසාවෙන් බව පරීක්ෂණ කණ්ඩායම්වල අදහසයි.
මේ අතර සේයා සදෙව්මි දැරියගේ ඝාතකයාට නිසි දඩුවම් ලැබෙන තුරු තමන් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වන බව කාන්තා සහ ළමා කටයුතු ඇමතිනි චන්ද්‍රානි බණ්ඩාර ප්‍රකාශ කළා. ඒ සිය අමාත්‍යාංශයේදී අද වැඩභාරගැනීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
සදෙව්මි දැරියගේ ඝාතනයට විරෝධය පළ කරමින් සහ සැකකරුවන් කඩිනමින් අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ල ගාල්ල නගරයේද ඊයේ උද්ඝෝෂණයක් සංවිධාන කර තිබුණා.
Post a Comment