කොම්පඤ්ඤවීදියේ ලක්ෂ 55 හේ
බැංකු කොල්ලය
කොම්පඤ්ඤවීදිය ධර්මපාල මාවතේ පිහිටි පෞද්ගලික බැංකුවකට ඊයේ (27 දා) පෙරවරු 7.05 ට කඩා වැදුණු සන්නද්ධ පුද්ගලයකු ආරක්ෂක නිලධාරියාට පහරදී බැංකු සේවකයන්ට මරනීය තර්ජනය කර එහි තිබූ රුපියල් පනස්පන්ලක්ෂයක මුදලක් කොල්ල කා පලා ගොස් ඇත. පෞද්ගලික බැංකුව විවෘත කර එහි දවසේ ගනුදෙනු කටයුතු සඳහා රැගෙන ආ මුදල් ගණන් කරන අවස්ථාවේ මෙම කොල්ල කෑම සිදුකර ඇති බව පොලිසිය පවසයි.
මෙම මුදල් කොල්ලයට බැංකුවේම සේවය කරන අයකු සම්බන්ධ බවට පොලිසිය සැක කරයි.යතුරුපැදියකින් පැමි කොල්ලකරු බැංකුවට ඇතුළුවීමට උත්සාහ කරද්දී ඔහුගේ හිස් වැසුම සහ ජැකැට්ටුව ගලවා ඉවත් කරන ලෙස ආරක්ෂක නිලධාරියා පවසා ඇත.
කොල්ලකරු ආරක්ෂක නිලධාරියාට පිස්තෝලයේ මිටෙන් පහරදී ඇත්තේ ඒ අවස්ථාවේදීය.මෙම කොල්ල කෑම සිදුවන අවස්ථාවේ සේවකයන් 11 දෙනකු රාජකාරියේ යෙදී සිටි බවට පැවැසේ.
මෙම කොල්ලකරු බැංකුවට ඇතුළු වී ඇත්තේ මුහුණ ආවරණය නොවන ආකාරයේ හිස් වැසුමක් පැළඳ ගෙන බව පොලිස් පරීක්ෂණවලදී හෙළිවී තිබේ.
බැංකුවේ සවි කර ඇති සීසීටීවී කැමරා දර්ශන මගින් සැකකරු මේ වන විට හඳුනාගෙන ඇති බවද පොලිසිය කියයි.
කොළඹ දිශාව භාර නි. පොලිස්පති ගාමි‚ මතුරට ජ්යෙ. පො. අ. චම්පික සිරිවර්ධන යන මහත්වරුන්ගේ උපදෙස් මත කොළඹ අපරාධ කොට්ඨාස සහ කොම්පඤ්ඤවීදිය පොලිසිය පරීක්ෂණ පවත්වයි.
Post a Comment