ලෝක ළමා දිනය සහ
වැඩිහිටි දිනය අදයි
'ළමා මිතුරු පරිසරයක් - ලොව බබලන සොඳුරු දැයක්' යන තේමාව යටතේ විශ්ව ළමා දිනය මෙන්ම 'සුපසන් නගරයක් - සොඳුරු වැඩිහිටි වියක්' යන තේමාවෙන් ලෝක වැඩිහිටි දිනයද අද අප සමරනවා.
දරුවා පිළිබඳ පළමු රැකවරණය දෙමව්පියන් කෙරෙන්ද, දෙවනුව ගුරුවරුන් කෙරෙන්ද, තෙවනුව වැඩිහිටියන් සහ සමාජය කෙරෙන්ද සැළසිය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා. අදට යෙදී තිබෙන ලෝක ළමා දිනය වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.
මේ අතර, අදට යෙදෙන වැඩිහිටි දින සැමරුම වෙනුවෙන්ද ජනාධිපතිවරයා පණිවුඩයක් නිකුත් කර තිබෙනවා. නාගරීකරණය තුළ වැඩිහිටියන්ගේ සුරක්ෂිතතාව තහවුරු කරමින් ඔවුන්ගේ අත්දැකීම්, දැනුම සහ බුද්ධිය සමාජයට උකහාගැනීම සඳහා විධිමත් සාධනීය ක්‍රියාමාර්ගයකට එළඹීම වැදගත් වන බවයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වැඩිහිටි දින සැමරුම වෙනුවෙන් නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.
අග්‍රාමාත්‍ය රනිල් වික්රමසිංහද අදට යෙදෙන ළමා දින සැමරුම වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කර තිබෙනවා. දරුවා සියලූ ආකාරයේ ආපදා හා අපයෝජනවලින් මුදාගැනීම දෙමව්පිය වැඩිහිටි සැමගේ බැරෑරුම් වගකීමක් වන බව අග්‍රාමාත්‍යවරයා නිකුත් කළ නිවේදනයේ සඳහන්. මේ අතර ජාත්‍යන්තර වැඩිහිටි දිනය වෙනුවෙන්ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ වියපත් වැඩිහිටි ජීවිත සුරක්ෂිත වන සේ සුබසාධන සේවා දියුණු කිරීමද, පවුල තුළ ශක්තිමත් වන ආර්ථික සමාජ පසුබිමක් ගොඩනැංවීමද අප හමුවේ ඇති අභියෝගයක් බවයි.
සෑම දරුවෙකුගේම ආරක්ෂාව පිළිබඳ වගකීමෙන් කොටසක් දෙමව්පියන් පමණක් නොව රටේ පාලකයන්ද භාරගත යුතු බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂද අදට යෙදී තිබෙන ලෝක ළමා දිනය වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.
මේ අතර ලෝක ළමා දිනය වෙනුවෙන් ජාතික ළමාරක්ෂක අධිකාරියද නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහි සභාපති නටාෂා බාලේන්ද්‍ර සඳහන් කළේ දරුවන් කෙරෙහි සංවේදී හදවත් ඇති මිනිසුන් බිහිවීම අද වනවිට අත්‍යාවශ්‍ය සාධකයක් බවට පත්වී ඇති බවයි. වර්තමානය වනවිට දරුවන් අපයෝජනයට ලක් කරන අවස්ථා අසන්නට දකින්නට ලැබීම කණගාටුදායක තත්ත්වයක් බවත්, එය වෙනස් කිරීම සඳහා සමාජමය පරිවර්ථනයක් අවශ්‍ය බවයි ඇය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.
Post a Comment